දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව වේයන්ගොඩ, පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත වේයන්ගොඩ පොලිස්  ස්ථානය මගින් සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වේයන්ගොඩ පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනය වන විට සැකකරුවන් 430 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ, දිවයින පුරා සිදු කළ වැටලීම් 430කට අදාළවයි.

එලෙස සිදු කළ වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍යයට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 220ක්, ගංජා ග්‍රෑම් 734ක්, ගංජා පැළ 8,332ක් සහ මත්පෙති 249ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවේ ගංජා සම්බන්ධ වැටලීම්වලදී බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.