හෙරොයින් කිලෝ ග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සමග ඊයේ අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සඟවා තිබියදී එම හෙරොයින් සොයා ගැනුණේ ඊයේ දිනයේදීයි.

මීට සතියකට පමණ පෙර එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ වැටලීමකදී එම හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු විදුහල්පතිවරයා 54 වන වියේ පසුවන අතර අනෙක් සැකකරු 22 හැවිරිදි පුද්ගලයෙක්.

ඔවුන් දෙදෙනාම එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

වැටලීම සිදුකළ අවස්ථාවේ අදාල මන්ත්‍රීවරිය ද එම හෝටලය පිහිටි ඉඩමේ නිවසේ රැඳී සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන මුදාහැර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර සැකකාර විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට දින කිහිපයකට ඉහතදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.