නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් හේතුවෙන් ලබන 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.