අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය විසින් සිදු කළ වංචාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අද අනාවරණ වුණා.

ඒ, සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා, මෙම කරුණට අදාලව සැකකාර වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 88 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කළා.

එම ප්‍රකාශ වලට අනුව ශල්‍යකර්ම වලට භාජනය කරන රෝගීන්ට අවශ්‍ය කරන ඊ.වී.ඩී නැමැති ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී ඒවා පිටතින් මිලදී ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරිය විසින් රෝගීන්ට දැනුම් දී තිබෙන බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව රුපියල් 17,500ක් පමණ මුදලකට රෝහලින් මිලදී ගත හැකි මෙම ශල්‍ය උපකරණය මෙම සැකකරුවන් විසින් රුපියල් එක් ලක්ෂ 50,000/- සිට දෙලක්ෂ 50,000 දක්වා මුදලකට සැකකාර වෛද්‍යවරියගේ පෞද්ගලික ආයතනය හරහා අලෙවි කර තිබෙන බවයි ඔහු පැවසුවේ ඊට අදාල බිල් පත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවද අල්ලස් කොමිසමේ නිලධාරීයා සඳහන් කළා. මෙම සැකකරුවන් විසින් “හෙමාෆාම්” නමැති ආයතනයකින් මෙම උපකරණ මිලදී ගෙන තිබෙන බවයි එම නිලධාරියා පැවසුවේ.

අදාළ ශල්‍ය අයිතමය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවද ඔහු පැවසුවා.

යම් හෙයකින් එය නොමැති බව අනාවරණය වුණොත් පැය දෙකක් වැනි කාලයක් තුළ ඒවාගෙන් ලබාගත හැකි හදිසි මිලදී ගැනීමේ ක්‍රම පවා රෝහල තුළ තිබියදී සැකකාර වෛද්‍යවරිය මෙලෙස රෝගීන් බාහිර ආයතනයක් ඇති යොමු කර තිබෙන බවයි එම නිලධාරියා සඳහන් කර සිටියේ.

වාර්ෂික මිලදී ගැනීම් සිදු කිරීමේදී ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ඊ.වී.ඩී. නමැති ශල්‍ය උපකරණය මිලදී ගැනීමට අවශ්‍ය පිරිවිතර ඉදිරිපත් කිරීම මෙම වෛද්‍යවරිය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පැවසුවා.

ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ අවස්ථාව තිබෙන බවයි අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසුවේ.

මෙලෙස වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීම සම්බන්ධයෙන් චාමර අබේවර්ධන නමැත්තෙකු පැමිණිලි කිරීමෙන් පසුව “කාරියවසම්” නමැති නීතිඥවරයෙකු ඔහු කැඳවා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී එම ආරවුල සමථයට පත් කර තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ දින පමණක් ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ දුරකථන අංකයට ඇමතුම් 92ක් පමණ ලැබී තිබෙන බවයි එම නිලධාරියා පැවසුවේ.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කැළඹීමක් හටගෙන තිබෙන බවත් මෙම වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැති පුද්ගලයාට මේ වන විට ජීවිත තර්ජනය එල්ල වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔහු පැවසුවා.

ඉන් අනතුරුව සැකකාර වෛද්‍ය මහේශී විජේරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

පසුව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළා.

ඒ අනුව ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති නිසා ඇය ඇප මත මුදාහරිණ ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකාර රෝහල් ලිපිකරු වෙනුවෙන් පෙනී සිටීම ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතාද අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

එසේ නම් මෙම ක්‍රියාව වරදක් වන්නේ කෙසේදැයි යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.