නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලී දායකත්වය ඇගයීම සඳහා වන “ජනාධිපති මාධ්‍ය සම්මාන - 2025” උළෙලේදී නෙත් එෆ් එම් රේඩියෝව අද සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවා.
අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් 2025 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ නෙළුම් පොකුණ රඟහලේදීයි.
එහිදී පුවත්පත්, රේඩියෝ, ගුවන්විදුලි, වෙබ්, මාධ්‍ය පර්යේෂණ හා පාසැල් මාධ්‍ය යන අංශයවලින් සම්මාන ප්‍රධානය කෙරුණා.
2025 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී නෙත් නිවුස් මෙරට පුමුඛතම ප්‍රවෘත්ති බවට යළිත් තහවුරු කරමින්, වසරේ විශිෂ්ටතම ගුවන්විදුලි සිංහල ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය හිමිකර ගැනීමට නෙත් එෆ් එම් ප්‍රවෘත්ති අංශයේ තරංග රුක්ෂාන් ජයසේකර සමත් වුණා.
මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගෙන් සමන්විත ජූරි මණ්ඩලයක් විසින් සම්මානලාභීන් තෝරා ගෙන තිබුණේ අති විශාල අයදුම්පත් සංඛ්‍යාවක් අතරින්.
එහිදී රේඩියෝ අංශයේ සම්මාන කාණ්ඩ 06ක් පැවති අතර ඉන් තුනකටම නෙත් එෆ් එම් නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.
එහිදී හොදම ප්‍රවෘත්ති වාර්තාකරණය හා ප්‍රවෘත්ති සංස්කරණය වෙනුවෙන් ලබාදුන් එකම සම්මානය නෙත් නිවුස් වෙනුවෙන් තරංග රුක්ෂාන් ජයසේකර දිනා ගත්තා.
එහි විශේෂත්වය වන්නේ සියලු රේඩියෝ නාළිකා අභිබවා ප්‍රවෘත්ති කාණ්ඩය වෙනුවෙන් තෝරාගෙන තිබූ එකම සම්මාන නිර්දේශය වූයේ නෙත් නිවුස් තරංග රුක්ෂාන් ජයසේකර සඳහා වීමයි.
මේ අතර 2025 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී වසරේ ප්‍රශස්තම ගවේෂණාත්මක ගුවන්විදුලි වැඩසටහනට හිමි සම්මානය හිමිකර ගනු ලැබුවේ නෙත් එෆ් එම් කාලීන සිදුවීම් අංශයේ බැලුම්ගල වැඩසටහන වෙනුවෙන් ලක්ෂිකා කාවින්දියි.
2025 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම සිංහල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට හිමි නාමයෝජනා සඳහා නෙත් එෆ් එම් රේඩියෝවේ මනෝජ් උදටියාවල ද නිර්දේශ වී තිබුණා.
සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීමේ “ජනාධිපති මාධ්‍ය සම්මාන - 2025” උළෙල පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථයයි.




