2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ අදාළ වියදම් සීමා තුළ ඒ ඒ ආයතනවලට අදාළව අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට මේ මස 31 වනදා දක්වා කාලය ලබා දී ඇති බවයි.
ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව, ඩිජිටල්කරණය, පොදු ප්‍රවාහනය බල ගැන්වීම, ග්‍රාමීය ප්‍රජාව ආර්ථිකයට දායක කර ගැනීම ආදී කරුණු මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
එමෙන්ම, ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්රතිලාභ ජනතාව වෙත ගලා යන්නේ ද යන්න විමසා බලා ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.
එහිදී ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ විසිරුණු සහ හුදකලා වූ ක්‍රීඩා උපකරණ බෙදීම් වැනි වැඩසටහන් වෙනුවට, ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධව, ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩාව ඔසවා තැබීමට කටයුතු කරන ලෙසයි.
පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ, තරුණියන් පදනම් කරගත් නවීන සහ ශක්තිමත් වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.