2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසනවා.

ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක් අද දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අතර, එහිදී වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී නව රජය යටතේ විදේශ රැකියා සඳහා ක්‍රියාත්මක කෙරෙන බඳවාගැනීමේ ක්‍රමවේදයට මේ වන විට විවිධ රටවලින් පැසසුම් ලැබෙන බවද ඔහු සඳහන් කර සිටියේ.

ශ්‍රි ලංකාවෙන් ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම හා ජපන් රැකියා ප්‍රවර්ධනය කර ගැනීම ජපන් දූත පිරිසගේ සංචාරයේ අරමුණ වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මෙම අවස්ථාව සඳහා ජපානයේ IM Japan ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක කෙන්ගො හොරි (Kengo Horie) මහතා ඇතුළු නිළධාරීන් හා ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම් 18ක නියෝජිතයින් එක්ව සිටියහ.

මෙහිදී, ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ලාංකිකයින් 5000ක පිරිසක් 2026 වර්ෂය තුලදී නිර්මාණය කිරීමටත්, 1000 ක පමණ පිරිසකට IM Japan ආයතනය හරහා ජපානයට යොමුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙලක් කාර්යාංශය හරහා නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වන බව කාර්යාංශ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

එමගින් වැඩි පිරිසකට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර භාෂා හා කුසලතා වලින් සපිරි ශ්‍රි ලාංකික පිරිසක් බිහිකිරීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

එහිදී අදහස් දැක්වූ සමාගම්වල නියෝජිතයින් සඳහන් කළේ, තමන්ගේ ආයතනවල සේවය කරන ශ්‍රි ලාංකිකයින් හොඳින් සේවය කරන බැවින් ඔවුන් පිළිබඳව ප්‍රසාදයක් ඇති බවයි.

එහෙයින් වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් තම ආයතන වෙත බඳවාගැනීමට බලාපොරොත්තු වන බවත් එම නියෝජිතයින් පැවසුවේ.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී සේනානායක, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (බඳවාගැනීම්) සුසිල් කුමාරපේලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.