AI අද මුළු ලෝකයේම තාක්ෂණික මාතෘකාව බවට පත්ව අවසන්.

AI තාක්ෂණය යොදාගනිමින් සිදු කරන විවිධ නිර්මාණ මේ වනවිට සියල්ලම පුදුමයට පත් කරමින් සිටිනවා.

මේ කතාව AI ගැන පුදුමයට වඩා බිය උපදවන සුළු කතාවක්. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේ්‍යෂ්ඨ තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ අන්තර්ජාල වංචාකරුවන් ද මේ වනවිට AI තාක්ෂණය යොදාගනිමින් විවිධ වංචා සිදු කිරීම ඉහළ යාමේ අවදානමක් ඇති බවයි.

අන්තර්ජාල වංචාවලට හසුනොවී සිටීමට ජනතාව කළ යුත්තේ කුමක්ද?

ගත වූ 2025 වසර තුළ සයිබර් ආරක්‍ෂාව පිළිබද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 12,650ක්. එය 2024 වසර හා සසදන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක් බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේ්‍යෂ්ඨ තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ.