ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට බේලි පාලම් 10 ක අතිරේක තොගයක් යවා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියෙන් පසු අඛණ්ඩව සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම එහි අරමුණයි.

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල තීරණාත්මක ප්‍රවාහන සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම පාලම් ඉකුත් සෙනසුරාදා විශාකාපට්නම් සිට කොළඹ දක්වා රැගෙනවිත් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු නාවික යාත්‍රාවක් වන INS Gharial මගින් ඒවා නැව්ගත කරන ලද බවයි.

හානියට පත් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි ආධාර ප්‍රයත්නයන්හි කොටසක් ලෙස ශ්‍රී ලංකාවට දැනටමත් ලබා දී ඇති බේලි පාලම් තොගයට අමතරව එම ප්‍රයත්නයන් තවත් ශක්තිමත් කරමින් මෙම නැව්ගත කිරීම සිදු කළ බව ඉන්දීය බලධාරීන් සඳහන් කළහ.

නවතම ආධාරය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෑතකදී ශ්‍රී ලංකාවට කළ සංචාරයේදී ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වටිනා ඉන්දියාවේ විශේෂ ආර්ථික පැකේජයේ කොටසකි.

එය සුළි කුණාටුවෙන් පසු සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියාව විසින් මීට පෙර ලබා දුන් මානුෂීය ආධාර සහ ආපදා සහන සහයෝගයට සමගාමීව සිදුකෙරේ.