ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පාකිස්ථානයේ බලුකිස්තානයේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉන්ධන සහ ආහාර සැපයීමට බාධා එල්ල වී ඇති අතර, එය දේශසීමා ප්‍රදේශවල භාණ්ඩ මිල ඉහළ යාමට සහ හිඟයක් ඇතිවීමේ බියක් ඇති කිරීමට හේතු වී තිබේ.

පකිස්ථානයේ සෙසු ප්‍රදේශවලින් ලැබෙන සැපයුම්වලට වඩා ඉරානයෙන් ලැබෙන භාණ්ඩ ලාභදායී මෙන්ම පහසුවෙන් ලබාගත හැකි බැවින්, ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි මක්‍රාන් (Makran) සහ රක්ෂාන් (Rakhshan) කලාපවලට අයත් ග්වාඩර් (Gwadar), කෙච් (Kech), පන්ජ්ගුර් (Panjgur), චාගායි (Chagai) සහ වෂුක් (Washuk) යන ප්‍රදේශ බෙහෙවින් ඉරාන භාණ්ඩ මත යැපේ.

දේශසීමා මාර්ග වසා දැමීම සහ ඉරානයෙන් එවන අපනයන සීමා කිරීම හේතුවෙන් කලාපයට අත්‍යවශ්‍ය භාණ්ඩ ගලා ඒම තියුනු ලෙස පහත වැටී ඇති බව ප්‍රාදේශීය වෙළෙන්දෝ පවසති.

මක්‍රාන් වෙළඳ සන්ධානයේ සභාපති ඉෂාක් රොෂාන් දෂ්ති පැවසුවේ, දේශසීමා ප්‍රදේශවල පරිභෝජනය කරන ඉන්ධන සහ ආහාරවලින් 80% ක්ම ඉරානය මත යැපෙන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ වසර මුලදී ඇති වූ මහජන විරෝධතාවලින් පසුව ටෙහෙරානය විසින් ආහාර ද්‍රව්‍ය අපනයනය සඳහා 30% කට වඩා වැඩි බද්දක් පැනවීමත් සමඟ ඉරාන භාණ්ඩ දැනටමත් මිල ඉහළ ගොස් ඇති බවයි.

වෙළෙන්දන් පවසන පරිදි ග්වාඩර් , ජිවානි , පස්නි සහ ඔර්මාරා ඇතුළු වෙරළබඩ දිස්ත්‍රික්කවල ඉරානයෙන් ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල මිල 30% සිට 40% දක්වා ඉහළ ගොස් ඇත.

ඉරානයේ සිට කිලෝමීටර් 20-25ක් පමණ දුරින් පිහිටි වෂුක් දිස්ත්‍රික්කයේ දුෂ්කර දේශසීමා නගරයක් වන මෂ්කෙල් (Mashkel) හි ද මෙවැනිම තත්ත්වයක් උද්ගත වී තිබේ.

ප්‍රාදේශීය වෙළෙන්දන් පවසන්නේ පකිස්ථානයේ සෙසු ප්‍රදේශ සමඟ නිසි මාර්ග සම්බන්ධතා නොමැතිකම හේතුවෙන් මෂ්කෙල් නගරය ඓතිහාසිකවම ඉරාන සැපයුම් මත යැපෙන බවයි.

පසුගිය සතිය තුළ බොහෝ භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.