ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුව වන හයිෆාහි බසාන් ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, ඉරානය සතු ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධියේ කොටසක් ලෙස සැලකෙන සවුත් පාස් ගෑස් නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසයි.

කෙසේවෙතත් ඉරානය එල්ල කළ එම ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් වාර්තා වී නොමැති බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ. එම ප්‍රහාරය හේතුවෙන් විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති අතර එය යථාතත්ත්වයට පත් කර ඇති බවද ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර සවුත් පාස් ගෑස් නිධිය ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර සවුත් පාස් ගෑස් නිධියට එල්ල කරන ලද ප්‍රහාරය ඊශ්‍රායලය තනිව සිදුකරන ලද්දක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

අනාගතය සදහාද සැලසුම් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඉරාන පාලන තන්ත්‍රියේ ඉරිතැලීම් දක්නට ඇති බවත් ඊශ්‍රායලය නිර්මාණය කර ඇති තත්ත්වයෙන් ප්‍රයෝජනය ගැනීම ඉරාන ජනතාවට භාර වන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.