ජර්මනිය මේ වන විට දිගුකාලීන ජනගහන පරිහානිය හේතුවෙන් ඇති වූ දක්ෂ ශ්‍රමික හිඟයකට මුහුණ දී සිටියි.
වයස්ගත වන ජනගහනයක් සහ ශ්‍රම බලකායට එක්වන තරුණ පිරිස ඉතා සීමිත වීමත් සමඟ, යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය තම ශ්‍රම බලකාය පවත්වාගෙන යාම සඳහා විදේශයන් දෙස වැඩි වැඩියෙන් අවධානය යොමු කරයි.
මෙම හිඟය පියවීමට ඉදිරිපත් වී සිටින රටවල් අතර ඉන්දියාව ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස මතු වී තිබේ.
BBC පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම වෙනසෙහි ආරම්භය 2021 වසරේදී සිදුවූවකි.
නිරිතදිග ජර්මනියේ දක්ෂ වෘත්තිකයින් නියෝජනය කරන වෙළඳ මණ්ඩලයක සේවය කළ හැන්ඩ්රික් වොන් උන්ගර්න්-ස්ටර්න්බර්ග් වෙත ඉන්දීය බඳවා ගැනීමේ නියෝජිතායතනයකින් අනපේක්ෂිත විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබුණි.
"අප සතුව වෘත්තීය පුහුණුව අපේක්ෂාවෙන් සිටින උද්යෝගිමත් තරුණ පිරිසක් සිටිනවා, ඔබ ඒ ගැන උනන්දුවක් දක්වනවාද කියා අපට දැනගන්න පුළුවන්ද?" යනුවෙන් එහි සඳහන් විය.
ඒ වන විටත් ජර්මානු සේවා යෝජකයින් තම පුරප්පාඩු පිරවීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියහ. "තම ආයතනවල වැඩ කිරීමට කිසිවෙකු සොයාගත නොහැකි වූ අසරණ සේවා යෝජකයින් බොහෝ දෙනෙක් අපට සිටියා," යැයි වොන් උන්ගර්න්-ස්ටර්න්බර්ග් BBC වෙත පවසා තිබුණි. "ඒ නිසා අපි මේ උත්සාහයට අවස්ථාවක් ලබා දීමට තීරණය කළා."
ඉන් අනතුරුව ආරම්භ වූයේ දෙරට අතර ශ්‍රම හුවමාරු සබඳතාවයේ සමාරම්භයයි.
මෙම ශ්‍රම හිඟයෙන් වඩාත්ම පීඩාවට පත් වූ එක් අංශයක් වූයේ මස් වෙළඳාම සහ මස් කැපීමේ (butchery) වෘත්තියයි.
පසුගිය දශක දෙකක කාලය තුළ ජර්මනිය තුළ මෙම වෘත්තිය ක්‍රමයෙන් පරිහානියට පත් විය.
පවුල් මට්ටමින් පවත්වාගෙන ගිය කුඩා මස් වෙළඳසැල් වසා දැමීමට සිදු වූ අතර, කායිකව වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු මෙවැනි රැකියා සඳහා තරුණ ජර්මානු ජාතිකයින් දක්වන්නේ ඉතා අඩු උනන්දුවකි.
"මස් වෙළඳාම කියන්නේ දැඩි වෙහෙසක් දරන්න ඕන රැකියාවක්," යැයි ප්‍රදේශයේ මස් වෙළෙන්දන්ගේ සංගමයේ ප්‍රධානී ජෝකිම් ලෙඩරර් (Joachim Lederer) පැවසීය. "පසුගිය වසර 25ක පමණ කාලය තිස්සේ තරුණ පිරිස් වෙනත් වෘත්තීය මාවත් කරා යොමු වෙමින් සිටිනවා," යැයි ඔහු BBC වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජර්මනිය මේ වන විට ජනගහන විද්‍යාත්මක අර්බුදයකින් පීඩා විඳිමින් සිටී.
2024 වසරේ සිදුකළ අධ්‍යයනයකට අනුව, එරට ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා වසරකට විදේශීය ශ්‍රමිකයින් 288,000ක් ආකර්ෂණය කරගත යුතුය. බර්ටෙල්ස්මන් පදනම (Bertelsmann Foundation) නැමති පර්යේෂණ ආයතනය පවසන්නේ එසේ නොවුවහොත් 2040 වන විට එරට ශ්‍රම බලකාය 10% කින් හැකිළෙනු ඇති බවයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු උපත ලැබූ 'බේබි බූමර්' (baby boomer) පරම්පරාවේ අවසන් පිරිස විශ්‍රාම ගැන්වීමට ආසන්න වෙමින් පවතින නමුත්, අඩු උපත් අනුපාතය හේතුවෙන් ඔවුන් වෙනුවට එම පුරප්පාඩු පිරවීමට ප්‍රමාණවත් තරම් ජර්මානු තරුණ පිරිසක් නොමැත. එහෙත් ඉන්දියාවේ විශාල තරුණ ජනගහනයක් වෙසෙති.
"ඉන්දියාව යනු වයස අවුරුදු 25ට අඩු මිලියන 600ක ජනතාවක් සිටින රටක්," යැයි බැනර්ජි පවසයි.
සෑම වසරකම ශ්‍රම බලකායට එක්වන්නේ මිලියන 12ක් පමණයි. එබැවින් එරට විශාල ශ්‍රම අතිරික්තයක් පවතිනවා.
'ඉන්ඩියා වර්ක්ස්' ආයතනය මේ වසරේදී ඉන්දීය තරුණයින් 775 දෙනෙකු තම ආධුනික පුහුණුව (apprenticeships) ආරම්භ කිරීම සඳහා ජර්මනියට ගෙන්වා ගැනීමට සූදානම් වේ. ඔවුන් එක්වන වෘත්තීන් පරාසය ඉතා පුළුල්ය. මාර්ග ඉදිකිරීම් ශිල්පීන්, කාර්මික ශිල්පීන්, ගල් වඩුවන් සහ බේකරි නිෂ්පාදකයින් ඒ අතරින් කිහිප දෙනෙකි.
2022 වසරේදී දෙරට අතර 'සංක්‍රමණ සහ සංචලන හවුල්කාරිත්ව ගිවිසුම' අත්සන් කිරීමෙන් පසු දක්ෂ ඉන්දීය ශ්‍රමිකයින්ට ජර්මනියේ රැකියා කිරීමට ඇති අවස්ථාව පහසු වී ඇත. අනතුරුව 2024 වසර අවසානයේදී, ජර්මනිය නිවේදනය කළේ ඉන්දීය පුරවැසියන් සඳහා වන දක්ෂ ශ්‍රමික වීසා කෝටාව වසරකට 20,000 සිට 90,000 දක්වා වැඩි කරන බවයි.
ජර්මානු නිල දත්ත වලට අනුව, 2015 වසරේදී එරට සිටි ඉන්දීය ශ්‍රමිකයින් සංඛ්‍යාව 23,320ක් වූ අතර, 2024 වන විට එය 136,670 දක්වා ඉහළ ගොස් ඇත.




