ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ”දැන්” සිදුවෙමින් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසුව ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල තියුනු ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද උදෑසන වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 97.65 ක් දක්වා සියයට 6.5 කින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86 යි දශම 7යි 7ක් දක්වා 6% කින් පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත් එම මිල ගණන් තවමත් පවතින්නේ ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමකයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල නැවත වරක් මෙලෙස අඩු වෙමින් පවතින්නේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයේ නිවැරදි පුද්ගලයන් සමග සාකච්ඡා කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

යුද්ධය අවසන් කිරීම සදහා වොෂින්ටනය ඉරානයට කරුණු 15කින් යුත් සැලැස්මක් යොමුකර ඇති බව ධවල මන්දියරයේදී වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම එම සැලැස්මට ඇතුළත් වන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පවසා තිබුණා.

මේ අතර ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය චෝදනා කර ඇත්තේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිය බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට යළි පහර දුන් බවටයි.

කෙසේ වෙතත් එම ප්‍රහාර වලින් එම න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානියක් සිදුව නොමැති බවත් ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.