ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබෙනවා.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් හා විපක්ෂව ඡන්ද 53ක් හිමිවී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එවන් පසුබිමක් තුළ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ද දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ගොඩබිම් මාර්ගයෙන් ද ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පුද්ගලයින් 72දෙනෙකු පමණ මෙහිදි මියගොස් ඇතැයිද වාර්තා වනවා.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තමන් කිසිවිටකත් යටත් නොවන බවයි හිස්බුල්ලා සංවිධානය පවසන්නේ.

ඒ අනුව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට සූදානම් නොමැති බව හිස්බුල්ලා සංවිධානයේ නායක නයිල් කසේම් පවසනවා.

එවන් පසුබිමක් තුළ මේ වන විටත් දකුණු ලෙබනන් කලාපයේ හිස්බුල්ලා සහ ඊශ්‍රායල් හමුදා අතර දරුණු ගැටුම් හටගෙන තිබෙනවා.

මේ අතර කුවේට් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ඉන්ධන නෞකාවක් අසල සිදුවූ විශාල පිපිරීමකින් පසු ඉන්ධන කාන්දුවක් සිදුව ඇතැයි එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළද මෙහෙයුම පවසනවා.

කෙසේවෙතත් එම නෞකාවේ ගින්නක් හටගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම පිපිරීමත් සමග යාත්‍රාව තුළට ජලය කාන්දුවී තිබෙනවා.

අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්‍ෂිතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීමෙන් පසු කුඩා යාත්‍රාවක් ඒ අවටින් පලා ගොස් තිබෙනවා.

මේ අතර සිය රටට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසට කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල්-තානි, ඉරානයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.