පාසල් නිවාඩු කාලය තුළ සිසුන් 300කට වැඩි පිරිසකට ටිබෙට් භාෂාව ඉගැන්වීම හේතුවෙන්, ටිබෙට් ජාතික භික්ෂුවක වන පැල්ඩන් යෙෂේ හට චීන රජය විසින් වසර හයක සිරදඬුවමක් නියම කර ඇත.
ටිබෙට් සංස්කෘතික හා භාෂාමය භාවිතයන් කෙරෙහි චීනය පනවා ඇති දැඩි සීමා කිරීම් සම්බන්ධයෙන් මෙම පියවර යළිත් විවේචනයට ලක්ව ඇති බව ‘Voice of Tibet’ (VoT) ගුවන් විදුලිය වාර්තා කරයි.
VoT වාර්තාවකට අනුව, කාර්සෙ (Karze) ප්‍රාන්තයේ තෙහෝර් හි කාර්සෙ විහාරස්ථානයට සම්බන්ධ ගුරුවරයෙකු සහ භික්ෂුවක වන පැල්ඩන් යෙෂේ, 2021 මැයි 17 වන දින චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව විහාරස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔහුව රැගෙන ගිය බව මූලාශ්‍ර පවසයි.
පැල්ඩන් යෙෂේ භික්ෂුව විසින් පාසල් නිවාඩු කාලය තුළ අසල ප්රජාවන්ගේ දරුවන් සඳහා අවිධිමත් ටිබෙට් භාෂා පන්ති සංවිධානය කර තිබුණි.
ටිබෙට් භාෂාව කියවීමට සහ ලිවීමට අවධානය යොමු කළ මෙම පන්ති සඳහා, සිය මව් භාෂාව ඉගෙන ගැනීමට උනන්දුවක් දැක්වූ තරුණ සිසුන් 300කට වැඩි පිරිසක් සහභාගී වී ඇත. කෙසේ වෙතත්, චීන බලධාරීන් මෙම ස්වේච්ඡා පන්ති නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකා තිබේ.
භික්ෂුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඔහු රඳවා තබා ගැනීමට හේතු හෝ ඔහු විමර්ශනයට ලක්වන නෛතික රාමුව පිළිබඳව බලධාරීන් එම භික්ෂුවගේ පවුලේ සාමාජිකයින්ට පැහැදිලි කිරීම් ලබා දී නැත.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව දීර්ඝ කාලයක් යනතුරු එම භික්ෂුවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව පවුලේ සාමාජිකයන් නිසි තොරතුරක් දැන සිටියේ නැත.
ජනවාරි 8 වන දින අනාවරණය වූ තොරතුරුවලට අනුව, පැල්ඩන් යෙෂේ භික්ෂුව දැනට ටිබෙට් ස්වයං පාලන කලාපයේ චුෂුල් (Chushul) බන්ධනාගාරයේ රඳවා සිටින අතර වසර හයක සිරදඬුවමක් නියම කර ඇත.
බලධාරීන් එම භික්ෂුවට එරෙහි චෝදනා නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවද, දරුවන් අතර ටිබෙට් භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට උම් වහන්සේ ගත් උත්සාහය සිරගත කිරීමට මූලික හේතුව බව විශ්වාස කෙරේ.




