බංග්ලාදේශයේ වෙසෙන සුළුතර බෞද්ධ ජනතාව සහ අනෙකුත් ආගමික කණ්ඩායම් මේ වන විට දැඩි මර්දනයකට සහ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ අනාවරණ කරයි.
එමෙන්ම එම පෙරමුණ අනාවරණ කරන්නේ එම ජනයාගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ලෝකවාසී බෞද්ධ ප්‍රජාව වහා මැදිහත් විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධාන කළ මාධ්‍ය හමුවක් මහනුවරදී පැවති අතර එහිදී අදහස් දක්වමින් එම පෙරමුණේ ප්රචාරක ලේකම්, ශාස්ත්‍රවේදී, ත්‍රිපිටක විශාරද, පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමියන් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම චිතගොං කඳුකරය ආශ්‍රිතව ජීවත් වන බෞද්ධ ආදිවාසීන්ගේ හෙට දවස බරපතළ අවදානමකට ලක්ව ඇති බවයි.
බංග්ලාදේශ බෞද්ධයන්ට එරෙහිව එල්ල වන මෙම ප්රහාරයන් අද ඊයේ ආරම්භ වූවක් නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ 2012 වසරේදී අන්තවාදීන් විසින් බෞද්ධ විහාරස්ථාන 19ක් සහ බෞද්ධ නිවාස 100ක් පමණ විනාශ කළ අඳුරු මතකය සිහිපත් කළහ. 2024 අගෝස්තු මාසයේදී එරට පැවති අවාමි ලීග රජය බිඳ වැටීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය, බෞද්ධ ජනතාවට එරෙහි ප්රචණ්ඩත්වය තවදුරටත් උත්සන්න වීමට හේතු වී ඇතැයි ද පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව, 2024 සහ 2025 කාලසීමාව තුළ බංග්ලාදේශයේ සුළුතර ආගමිකයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා 2,442ක් වාර්තා වී ඇත.
එවැනි ප්රචණ්ඩ ක්‍රියා අතරට විහාරස්ථානවලට එල්ල වූ ප්‍රහාර, ඝාතන සහ මංකොල්ලකෑම් මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය වැනි සිදුවීම් ඇතුළත් බව ද පූජ්‍ය කවිස්සර හිමියෝ පවසති.
එමෙන්ම බෞද්ධයන් පමණක් නොව, බංග්ලාදේශයේ වෙසෙන හින්දු සහ ක්‍රිස්තියානි භක්තිකයන් ද මෙවැනිම තර්ජනයන්ට මුහුණ දෙන බැවින් සියලු සුළුතර ආගමිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පොදු එකඟතාවයකට පැමිණීම කාලීන අවශ්‍යතාවයක් බව උන්වහන්සේ පෙන්වා දෙති.
බංග්ලාදේශයේ බෞද්ධ උරුමය සහ බෞද්ධ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙස ද ශ්‍රී ලංකාවේ මහා නායක හිමිවරුන්ගෙන්, සමස්ත මහා සංඝරත්නයෙන් සහ ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් ශ්‍රී ලංකා බංග්ලාදේශ බෞද්ධ සහයෝගීතා පෙරමුණ ඉල්ලා සිටියි.




