රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඇති හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රංශයේ නිෂ්පාදිත “රෆෙල්” ප්‍රහාරක ජෙට් යානා සියයක් මිලදී ගැනීමට යුක්‍රේනය සූදානම් වනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්ස්කි ඊට අදාල ගිවිසුමකට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම ගිවිසුම ලබන වසරේ සිට වසර 10ක් ක්‍රියාත්මක වන උපාය මාර්ගික ගිවිසුමක් වන බව යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්ස්කි ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

යුක්‍රේනයට ඉතා ශක්තිමත් ප්‍රංශයේ නිෂ්පාදිත රේඩාර් පද්ධතියක්, ගුවන් ආරක්ෂක පද්ධතියක් සහ අනෙකුත් දියුණු ආයුධ ද ලැබෙනු ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

රුසියාව මෑත මාස කිහිපයදී යුක්‍රේනයට එරෙහිව එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම රුසියානුවන් මසකට ග්ලයිඩ් බෝම්බ 6,000ක් පමණ භාවිතා කරන බවයි යුක්‍රේනය පවසන්නේ.

“රෆෙල්” ප්‍රහාරක ජෙට් යානා ලබා ගැනීම යුක්‍රේන ගුවන් කලාපය ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක සංදිස්ථානයක් වනු ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.