රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ලොව රටවල් රැසකට අමෙරිකාව විසින් පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් 11 වනදා දක්වා එම අවසරය ලොව පුරා රටවලට ලබාදෙන බවයි.

මේ වනවිට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට එම අවසරය ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

ගෝලීය බලශක්ති වෙළදපොලවල ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති බවද එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

මෙම තීරණයට පෙර ඉන්දියාවට රුසියාවෙන් ඛනිජ තෙල් මිලදි ගැනීම සදහා දින 30ක සහන කාලයක් ලබාදීමටද අමෙරිකාව කටයුතු කළා.

මේ අතර රුසියාව ප්‍රකාශ කර ඇත්තේ තම රටේ ඛනිජ තෙල් නොමැතිව ගෝලීය බලශක්ති වෙළදපොලට ස්ථාවරව පැවතිය නොහැකි බවයි.

එය එක්සත් ජනපදය ඵලදායි ලෙස පිළිගෙන ඇති බව රුසියානු ආර්ථික නියෝජිත කිරිල් දිමිත්‍රිව් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අද උදෑසන වනවිට අමෙරිකානු ඩොලර් 100 යි දශම 3 යි 5ක පමණ මට්ටමක පැවතුණා.

මේ අතර ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති එපික් ෆියුරි මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක හය දහසකට මේ වනවිට ප්‍රහාර එල්ල කර ඇති බවයි අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ.

ඉරානයට අයත් නැව් 60ක් සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ යාත්‍රා 30ක් හානිකර හෝ විනාශ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.