ලෙබනනය පුරා ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 254 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලෙබනන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ගුවන් ප්‍රහාර හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන්වලට යට වූ බොහෝ පිරිසක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මින්තු 10ක් ඇතුළත හිස්බුල්ලා සංවිධානයට අයත් විධාන මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු 100කට අධික සංඛ්‍යාවකට එලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙරයි මෙම ප්‍රහාර එල්ල කර තිබෙන්නේ.

ඊශ්‍රායලය එය හඳුන්වනු ලැබුවේ මෙම ගැටුමේ මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ලෙසයි.

ගාසා තීරයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී මොහොමඩ් විෂා ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර එල්ල වන ප්‍රහාර හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනය අත්හිටුවීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.

ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත් සටන් විරාමයෙන් මුළුමනින්ම ඉවත් වන බවට ද ඉරානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.