අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක් සනිටුහන් කරමින්, සඳ වටා යන ”ආටෙමිස් 2” මෙහෙයුමේ තීරණාත්මක හෝරා කිහිපයක් දැන් උදාවී තිබෙනවා.
නාසා ආයතනය පවසන්නේ ගඟනගාමීන් 4 දෙනෙකු සමග සඳ කරා ගමන් කරමින් තිබෙන ඔරායන් යානය මේ වනවිට සඳුගේ ගුරුත්වාකර්ෂණ බල ප්‍රදේශයට ඇතුළු වෙමින් සිටින බවයි.
යානයේ ගමන් මඟ තවදුරටත් නිවැරදි කිරීම සඳහා වේග පාලනය හූස්ටන් පාලන මැදිරිය සහ ආටෙමිස් 2 කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකාවේ වේලාවෙන් අද උදෑසන අවසන් කළා.
ඒ සදහා යානයේ එන්ජිම කෙටි වේලාවකට පණගැන්වූ බවයි නාසා ආයතනය පැවසුවේ.
මෙලෙස ගමන් මඟ තවදුරටත් නිවැරදි කිරීමෙන් පසුයි ඔරායන් යානය දැන් සඳුගේ ගුරුත්වාකර්ෂණ බල ප්‍රදේශයට ඇතුළු වෙමින් සිටින්නේ.
මිනිසුන් රැගත් යානයක් මෙලෙස සඳ කරා යන්නේ වසර 54කට පසුවයි.
රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන ගඟනගාමීන් හතර දෙනා මෙම සඳ ගමනට එක්ව සිටිනවා.
ඔවුන් අද තම විශේෂිත ‘ඔරායන්‘ ඇඳුම් කට්ටල පරීක්ෂා කිරීම ඇතුළු තාක්ෂණික මෙහෙයුම් රැසක් ද සිදු කළ බවයි නාසා ආයතනය පවසන්නේ.
තව පැය කිහිපයකින් ඔවුන් සඳුගේ අඳුරු පැත්ත හෙවත් පෘථිවියට නොපෙනෙන පැත්තට යානය ළගා වීමට නියමිතව තිබෙනවා.
නාසා වාර්තාවේ දැක්වෙන්නේ ඔරායන් යානයේ සිටින ගඟනගාමීන් පෘථිවිය සමඟ පවතින සියලුම සබඳතාවලින් මිදී තනි වනු ඇති බවයි.
සඳට මුවා වීම නිසා මිනිත්තු 40ක පමණ කාලයක් ඔවුන් සහ පෘථිවිය අතර කිසිදු රේඩියෝ හෝ ලේසර් සබඳතාවක් නොපවතිනු ඇති.
මෙම නිහඬ මිනිත්තු 40 තුළ ඔවුන් සඳුගේ මතුපිට ඡායාරූප ගත කරමින් සහ පර්යේෂණ කරමින් තනිවම අභ්‍යවකාශයේ සැරිසරනු ඇති බව ද නාසා ආයතනය පවසනවා.
මීට පෙර 1970 දී ඇපොලෝ 13 යානය තැබූ දුරම ගමනේ වාර්තාවද අද මොවුන් අලුත් කිරීමට නියමිතයි.
ඒ අනුව පෘථිවියේ සිට සැතපුම් දෙලක්ෂ පනස් දෙදහසකට වඩා දුරකින් ඔවුන් ගමන් කරනු ඇති.




