හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සහ ඉන් පිටවන සියලුම නෞකා අවහිර කිරීමට පියවර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නාවික හමුදාවට නියෝග කර තිබෙනවා.

සිය ටෘත් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම නාවික අවහිර කිරීම් ඉතා කෙටි කලකින් ආරම්භ කරන බවයි.

පසුගියදා පැවති ද්වී පාර්ශවික සාකච්ඡා සම්බන්ධයෙන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් එහි අදහස් දක්වා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියද, වඩාත් තීරණාත්මක වූ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ඉරානය අපොහොසත් වූ බවයි.

ඉරානයට නාවික ගාස්තු ගෙවන ඕනෑම නෞකාවක් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.

එවැනි බදු ගෙවන කිසිදු නෞකාවකට සාගරයේ ආරක්ෂිත ගමනාගමනය සඳහා ඉඩ නොදෙන බවයි ඔහු පවසන්නේ.

ඉරානය විසින් මුහුදේ අතුරා ඇති බව කියන බෝම්බ සොයා විනාශ කිරීමටද ඇමරිකානු නාවික හමුදාව මෙහෙයුමක් සිදු කිරීමට නියමිතයි.

මේ අතර ඇමරිකානු හමුදාවට හෝ සාමකාමී නෞකාවලට වෙඩි තබන ඕනෑම ඉරාන ජාතිකයෙකුට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කර ඔවුන්ව විනාශ කරන බවද ඇමරිකානු ජනාධිපතිවරයා සිය ටෘත් ගිණුමේ සටහන් කර තිබෙනවා.