ලෝකයේම අවධානය මැද, අමෙරිකාව සහ ඉරානය අතර ස්ථිර සටන් විරාමයක් සඳහා වන තීරණාත්මක සාකච්ඡා මේ වන විට පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට සූදානම්ව තිබෙනවා. මෙය යුද්ධය නිමා කිරීම සඳහා වන "ජය හෝ පරාජය" තීරණය කරන තීරණාත්මක හමුවක් ලෙසයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හඳුන්වා දෙන්නේ.

​ ලැබෙන නවතම වාර්තා පවසන්නේ, අමෙරිකාව නියෝජනය කරමින් විශේෂ දූතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් රැගත් යානය මීට නොබෝ වේලාවකට පෙර ඉස්ලාමාබාද් ගුවන් තොටුපළට ගොඩබැස්ස වූ බවයි. අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඉදිරි පැය කිහිපය තුළ එහි ළඟා වීමට නියමිතව තිබෙනවා.

​ඉරාන දූත පිරිස ඊයේ මධ්‍යම රාත්‍රියේ පකිස්ථානයට පැමිණි අතර, ඔවුන්ට ලබාදුන් විශේෂ ආරක්ෂාව ලොවම අවධානය දිනා ගැනීමට සමත් වුණා. ඉරාන යානය පකිස්ථාන ගගන සීමාවට ඇතුළු වූ මොහොතේ සිට යුද ගුවන් යානා සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහිත යානා මගින් එයට විශේෂ ආරක්ෂාවක් සපයනු ලැබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

​සාකච්ඡා හේතුවෙන් මුළු ඉස්ලාමාබාද් නුවරම මේ වන විට දැඩි ආරක්ෂක රැකවල් මැද පවතිනවා. පකිස්ථාන රජය දින දෙකක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ආරක්ෂාව සඳහා විශේෂ බලකායේ කොමාන්ඩෝ භටයන් ඇතුළුව දසදහසකට අධික ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

​අද දවස පුරා මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත වුවත්, පවතින තත්ත්වය අනුව එය හෙට දක්වා හෝ ඉදිරි දින කිහිපය දක්වා දීර්ඝ වීමට ඉඩ පවතින බව වාර්තා පැවසෙනවා. "ඉරානය අවංකව සාකච්ඡා කිරීමට සූදානම් නම්, අපි ඔවුන්ට සුහදතාවයේ දෑත් දිගු කිරීමට සූදානම්" යැයි සාකච්ඡාවලට පෙර අමෙරිකානු උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය පළ කළ වාර්තාවක දැක්වෙන්නේ.