ඇෆ්ගන් - තලේබාන් රජයට එරෙහිව පකිස්තානය විවෘත යුද්ධයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර දේශ සීමාවේ ඇති වූ ගැටුම්වලින් පසු පකිස්තානය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඇෆ්ගනිස්තාන හමුදා පකිස්තාන දේශසීමාවේ හමුදා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ පසු පකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයේ කාබුල් සහ කන්දහාර් නගර වෙත බෝම්බ හෙළා තිබෙනවා.

පකිස්තාන ආරක්‍ෂක අමාත්‍ය කවාජා අසීෆ් ‘X‘ සටහනක් තබමින් ‘අපේ ඉවසීමේ සීමාවට පැමිණ ඇත.

දැන් එය අප සහ ඔබ අතර විවෘත යුද්ධයකි ’ යනුවෙන් පවසා තිබෙනවා.

පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම ආක්‍රමණශීලි අභිලාශයන් විනාශ කර දැමීමේ පූර්ණ හැකියාව පකිස්තානයට ඇති බවයි.

තමන්ට පහරදුනහොත් ඊට ප්‍රතිචාර දක්වන බව තලේබාන් හමුදාව ද ප්‍රකාශ කර තිබෙනවා. තලේබාන් සංවිධානය පවසා ඇත්තේ පකිස්තානය එල්ල කළ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි.

තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් පකිස්තාන හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව පකිස්තාන බලධාරීන්ද තහවුරු කර තිබෙනවා.