ඉන්දියාවේ අධිවේගී මාර්ගයක වාහන 25ක් ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මියගොස් ඇත්තේ ඔස්මානාබාද්හි පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.
මෙම අනතුර පූනේ – මුම්බායි අධිවේගී මාර්ගයේ මුම්බායි බලා යන මංතීරුවේ ගාස්තු කුටිය අසලදී සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මුම්බායි දෙසට ගමන් කරමින් තිබූ කන්ටේනර් ට්‍රක් රථයක තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගත් අනෙක් වාහනවල ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම එරට වේලාවෙන් පස්වරු 03ට පමණ සිදුව තිබෙනවා.
අනතුර සිදු වූ වහාම ගිනි නිවන හමුදාව සහ ගිලන් රථ සේවා එම ස්ථානයට කඩිනමින් ළඟා වී තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා අසල පිහිටි රෝහල් වෙත යවා තිබෙනවා.
තුවාල ලැබූ 21 දෙනාට මුලින් කොපොලි නාගරික රෝහලේදී ප්‍රථමාධාර ලබා දී පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කමොතේ හි පෞද්ගලික රෝහලකට මාරු කර යවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
අනතුර හේතුවෙන් පූනේ සිට මුම්බායි දක්වා සහ මුම්බායි සිට පූනේ දක්වා රථවාහන ගමනාගමනය ඇණහිට තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අනතුර සිදු වූ අවස්ථාවේ රියදුරු එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කළ නමුත් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ට්‍රක්රථයේ රියදුරුට සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් හෙළි වූයේ අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර නොමැති බවයි.