ඉරානය සම්බන්ධ යුදමය තත්ත්වය මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතින අතර, එමගින් චීනය පවතින අවධමනකාරී (deflation) තත්ත්වයෙන් මුදා හැර වඩාත් හානිකර ”නරක උද්ධමන” (bad inflation) අවධියකට තල්ලු කළ හැකි බව ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවනවා.
වසර ගණනාවක් තිස්සේ චීනය දුර්වල ඉල්ලුම, පහත වැටෙන මිල ගණන් සහ අතිරික්ත කාර්මික ධාරිතාවය වැනි ගැටලුවලින් පීඩා විදිනවා.
දැන්, ගෝලීය බලශක්ති පිරිවැය ඉහළ යාම හේතුවෙන් එම ප්‍රවණතාවය වෙනස් වීමේ අවදානමක් පවතින බවයි ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
එය සිදුවන්නේ ආර්ථික වර්ධනය ශක්තිමත් වීම නිසා නොව, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන්.
විශාල තෙල් සංචිත, විවිධාංගීකරණය වූ බලශක්ති ප්‍රභවයන් සහ දැඩි වෙළඳපොළ පාලනයන් නිසා බීජිං පාලනයට යම් ආරක්ෂාවක් ලැබී තිබුණද, මෙම බලශක්ති කම්පනයේ පරිමාණය එම ආරක්ෂිත පියවරයන් ද දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සිටිනවා.
පෙබරවාරි 28 වන දින ගැටුම් ආරම්භ වූ දා සිට බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල සියයට 45කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එමඟින් නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන පිරිවැය (input costs) බෙහෙවින් වැඩි වී තිබෙනවා.
ආර්ථික විද්‍යාඥයින් ඇස්තමේන්තු කරන්නේ තෙල් මිල සියයට 10කින් ඉහළ යාම නිසා නිෂ්පාදක මිල උද්ධමනය සියයට 0.4කින් ඉහළ යා හැකි බවයි. වසර තුනකට වැඩි කාලයක් සෘණාත්මක මට්ටමක පැවති එම අගය, බොහෝ දුරට මාර්තු මාසය වන විට ධනාත්මක අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
නමුත් මෙය ප්‍රතිපත්ති සම්පාදකයින් අපේක්ෂා කරන ආකාරයේ උද්ධමනයක් නොවේ. මෙය ශක්තිමත් ඉල්ලුමක් නිසා නොව, ඉහළ පිරිවැය නිසා ඇති වූවක්. මෙයින් අදහස් කරන්නේ සමාගම්වලට තම භාණ්ඩවල මිල සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට නොහැකි වී ඇති අතරතුර, ඔවුන් දැඩි පීඩනයකට මුහුණ දෙන බවයි.



