ෂැංහයි සහයෝගිතා සංවිධානය හෙවත් SCO සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද උදෑසන චීනයේ ටිඇන්ජින් වෙත පැමිණ තිබෙනවා. සිය දෙදින ජපන් නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඔහු චීනයට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඉන්දීය අගමැතිවරයා වසර හතකින් පසු සිදු කරන පළමු චීන සංචාරය මෙය වනවා. 25 වැනි SCO සමුළුව සඳහා චීනයේ ටියැන්ජින් නුවරට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ රතු පලස මතින්. එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීන ජනපති ෂී ජින් පිං චීනයේ ටිඇන්ජින්හිදි හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. දිගු කලක් පැවති දේශසීමා ආරවුලක් ඇතුළු වසර ගණනාවක අමනාපයෙන් පසුව, දෙරටේ නායකයින් පවසන්නේ දැන් ඔවුන් අතර විශ්වාසය ශක්තිමත් වූ බවයි. එහිදී චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු බව චීන ජනපති ෂී ජින් පිං ඉන්දීය අගමැති මෝදිට පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අගමැති මෝදි පවසා ඈත්තේ දැන් ඔවුන් අතර සාමය සහ ස්ථාවරත්වයේ වාතාවරණයක් ඇති බවයි. ඉන්දීය රජය රුසියානු තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කිරීම හේතුවෙන් දඬුවමක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමක් සිදු කර තිබුනා. අමෙරිකාවේ තීරුබදු ගැටුම මධ්‍යයේ පැවති මෙම රැස්වීමේදී නායකයින් දෙදෙනා පැයකට ආසන්න කාලයක් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවති හමුව පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එක්සත්කම ප්‍රවර්ධනය කිරීමේ සහ මානව සමාජයේ ප්‍රගතිය ඉදිරියට ගෙන යාමේ වගකීම ඉන්දියාව සහ චීනය සතු බවයි. තවද නිකුත් කළ නිවේදනයෙන් චීනය පැවසුවේ ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් දෙක ගෝලීය දකුණේ වැදගත් සාමාජිකයන් බවයි. මේ අතර වසර මුලදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමඟ ඔහුගේ වෙළඳ යුද්ධය තීව්‍ර කළ විට, චීනය ඉන්දියාව සමඟ සබඳතාවක් ආරම්භ කළේ ජනාධිපති ෂී ජින් පිං විසින් ජනාධිපති ද්‍රෙෘපදී මුර්මු වෙත පෞද්ගලික ලිපියක් යවමින් බවයි බ්ලූම්බර්ග් වාර්තාවක් පවසා ඇත්තේ. තවද ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජන, ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශ හේතුවෙන් ඉන්දියානු රජය ජුනි මාසයේදී චීන සම්බන්ධතා බැරෑරුම් ලෙස සැලකීමට පටන් ගත් බව එහි වැඩිදුරටත් සඳහන් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Published