ඉරාන බලශක්ති බලාගාරවලට පහරදීමේ විරාමය දින 10ක් දක්වා දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවයි.

ඉරාන බලශක්ති බලාගාරවලට පහරදීම දින 5කට අත්හිටුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළා.

එම විරාමය හෙටින් අවසන්වීමට නියමිතව තිබුණා.

ඉරානයේ ඉල්ලීම පරිදි ප්‍රහාර එල්ල කිරීමේ විරාමය අප්‍රේල් මස 6 වනදා නැගෙනිර වේලාවෙන් රාත්‍රී අට දක්වා දීර්ඝ කළ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

කෙසේවෙතත් ඉරානය අමෙරිකාව සමග සාකච්ඡා සිදුකරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශය මෙතෙක් තහවුරු කර නැහැ.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයට සහ ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ඉරානයද ඊශ්‍රායලය සහ මැදපෙරදිග කලාපයේ රටවල් වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.