මැදපෙරදිග යුද ගැටුම් තවත් දික්ගැස්සෙමින් තිබියදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.
මැදපෙරදිග යුද ගැටුම් පිළිබඳ මෙන්ම යුක්රේන අර්බුදය පිළිබඳව ද දෙරටේ නායකයන් මෙහිදී අවධානය යොමු කර ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ.
රුසියාව මෙම සාකච්ඡාව විස්තර කර ඇත්තේ ”විවෘත හා සාධනීය” එකක් ලෙසයි.
මැදපෙරදිග ගැටුමට කඩිනම් දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීම සඳහා වූ යෝජනා කිහිපයක් ජනාධිපති පුටින් මෙහිදී ඉදිරිපත් කළ බව රුසියානු ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක යූරි උෂාකොව් ප්‍රකාශ කළා.
ඉරාන ජනාධිපතිවරයා, ගල්ෆ් කලාපයේ රටවල නායකයන් සහ අනෙකුත් ජාත්‍යන්තර නායකයන් සමඟ තමන් පැවැත්වූ සාකච්ඡා ද එම යෝජනාවල කොටස් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජනාධිපති පුටින් ඉදිරිපත් කළ යෝජනාවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම දුරකථන සංවාදයේදී ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේන - රුසියානු යුද්ධයට දීර්ඝකාලීන විසඳුමක් තමා බලාපොරොත්තු වන බවයි.
යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් පූර්ණ සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා.
ලෙබනනය බැටකමින් සිටින්නේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය සිදුකරන ප්‍රහාරවලින්.
ගොඩබිමෙන්, මුහුදෙන් සහ ගුවනින් යන ආකාර තුනෙන්ම ප්‍රහාර සිදුවන බවයි විදේශ වාර්තා පවසන්නේ.
සිදුවූ ප්‍රහාරවලින් මේ වනවිට ලෙබනනයේ පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 1,313 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් පූර්ණ සටන් විරාමයක් සඳහා ඉල්ලීමක් කර තිබියදීත්, එරට ඉලක්ක වෙත තවදුරටත් ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
අගනගරය වන බීරූට්හි පිහිටි හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධිඅල්-කාර්ඩ් අල්-හසන්‘ මූල්‍ය ආයතනයේ ශාඛාවලට ද ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ.
ලෙබනන ඉලක්ක වෙත මෙලෙස ප්‍රහාර එල්ල කරන්නේ ඊශ්‍රායලයයි.
බීරූට් නුවර දකුණුදිග ප්‍රදේශයේ පිහිටි හාරෙට් හ්රෙයික් සහ බීරූට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි මූල්‍ය ආයතන ශාඛා වෙත ද ප්‍රහාර එල්ල වූ බවයි ලෙබනන ජාතික පුවත් ඒජන්සිය පවසන්නේ.
ලෙබනන ජාතික මූල්‍ය පද්ධතියෙන් බැහැරව ක්‍රියාත්මක වන, පොලී රහිත ණය ලබාදෙන මෙම ආයතනය 2007 වසරේ සිට අමෙරිකානු සම්බාධකවලට ද යටත්ව සිටින බවයි විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.




