ලෝකයේම අවධානය දිනාගත්, අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී අද ආරම්භ වනවා.
යුද්ධය ස්ථිරව නිමා කිරීම සඳහා වන මෙම තීරණාත්මක හමුවට සහභාගී වීමට ඉරාන දූත පිරිස මීට නොබෝ වේලාවකට පෙර පකිස්ථානයට පැමිණියා.
මෙම ඉරාන දූත කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ එරට පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්.
ඊට අමතරව ඉරාන විදේශ අමාත්‍යවරයා සහ මධ්‍යම බැංකුවේ අධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ තවත් නිලධාරීන් ද දූත කණ්ඩායමට ඇතුළත් වනවා.
මෙම ඉරාන දූත කණ්ඩායම පකිස්ථානය වෙත පැමිණි යානය නම් කර තිබෙන්නේ "මිනාබ් 168" ලෙසයි.
ගැටුම් ආරම්භ වූ පළමු දිනයේදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කෙරුණු ඉරානයේ 'මිනාබ්' (Minab) බාලිකා පාසල සිහිපත් කරමින් ඊට ඒ නම යොදා තිබෙනවා.
මේ අතර, අමෙරිකාව නියෝජනය කරමින් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද සිය දූත පිරිස සමඟ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර වෙත පැමිණෙමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඇමෙරිකානු දූත පිරිස මෙම සාකච්ඡා සඳහා පිටත්වීමට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.
ඔහු කියා සිටියේ, ඉරානය සතුව න්‍යෂ්ටික අවි නොතිබිය යුතු බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය ඕනෑම තත්ත්වයක් යටතේ විවෘත කරන බවයි. ඉරාන වැසියන් අද ජීවතුන් අතර සිටින එකම හේතුව මෙම සාකච්ඡා පමණක් බවද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියා.
එසේ තිබියදී සාකච්ඡා සඳහා මැදිහත්කරු වූ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අද සිදුවන මෙම හමුව හඳුන්වා දී ඇත්තේ මුළු මුස්ලිම් ලෝකයටම ආඩම්බරයක් ගෙන දෙන, යුද්ධය නතර කිරීමේ "තීරණාත්මක අවස්ථාවක්" ලෙසයි.
මේ අතර, ලෙබනනයේ පවතින ගැටුම් නිමා කිරීම සම්බන්ධයෙන් ද නව බලාපොරොත්තුවක් මතු වී තිබෙනවා.
ලෙබනන් සහ ඊශ්‍රායල දූත පිරිස් එළඹෙන අඟහරුවාදා අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීමට එකඟ වී තිබෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.
කෙසේ වෙතත්, සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර කළ යුතු බව ඉරාන කථානායකවරයා අවධාරණය කර තිබෙනවා.




