සෞදි අරාබියේ ප්‍රධාන ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ඩ්‍රෝන යානා කිහිපයක් සහ බැලිස්ටික් මිසයිලයක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව විනාශ කළ බව සෞදි රජය ප්‍රකාශ කර ඇත.

සෞදි ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ඩ්‍රෝන යානා පහක් ඉලක්ක කරා ළඟා වීමට පෙර වෙඩි තබා බිම හෙළා ඇති අතර, ඉන් හතරක් සෞදි අරාබියේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් වන ෂයිබා (Shaybah) තෙල් නිධිය වෙත යොමු වෙමින් තිබියදී රුබ් අල් ඛාලි (Rub' al Khali) ප්‍රදේශයට ඉහළින්දී විනාශ කර තිබේ.

තවත් සිදුවීමකදී, රියාද් අගනුවරට නුදුරින් පිහිටි ප්‍රධාන හමුදා කඳවුරක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුර (Prince Sultan Air Base) ඉලක්ක කර එල්ල කළ බැලිස්ටික් මිසයිලයක් සෞදි හමුදා විසින් විනාශ කර ඇති අතර, අගනුවරට නැගෙනහිරින් තවත් ඩ්‍රෝන යානයක් ද විනාශ කර ඇත.

කලාපය තුළ පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ සෞදි ආරක්ෂක අමාත්‍ය කාලිඩ් බින් සල්මාන් අල් සවුද් කුමරු, පකිස්ථාන යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී සෞදි අරාබියට එල්ල වන ප්‍රහාර "ඉරාන ආක්‍රමණ" ලෙස රියාද් පාලනය හඳුන්වා දී ඇති අතර, කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානය යොමු වී ඇත.

සෞදිය පකිස්ථානය සමග ඉකුත් සැප්තැම්බර් මාසයේදී උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් සඳහා අත්සන් තබා ඇත.

රියාද්හිදී සෞදි අරාබිය සහ පකිස්ථානය අතර අත්සන් කරන ලද මෙම ගිවිසුමේ ප්‍රධාන වගන්තිය වන්නේ දෙරටින් ඕනෑම රටකට එල්ල වන ආක්‍රමණයක් දෙරටටම එල්ල වූ ආක්‍රමණයක් ලෙස සලකනු ලැබේ යන සාමූහික ආරක්ෂක ප්‍රතිපත්තියයි.

නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පකිස්ථානය සතු සියලුම හමුදාමය හැකියාවන් (න්‍යෂ්ටික බලය ඇතුළුව) සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් යොදාගත හැකි බවයි.