එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපරකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍රවේශය මේ සමග හිමිවනු ඇති.

පැවති ආනයනික ප්‍රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමයට වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමගින් වෙළෙඳාම පහසුකරවනු ඇති බවයි බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

එම නිවේදනයෙන් දන්වා ඇත්තේ මෙම නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදුකෙරෙන නිමි ඇඳුම් අපනයන කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවයි.

ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බි්‍රතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක බව බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අද පැවසුවා.

ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවන විශාලම වෙළෙඳපොළ එක්සත් රාජධානියයි.

එහි වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වනවා.