පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව ඔහුගේ එක් කොන්දේසියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම සියට රටට සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට ද පියවර ගත යුතු බවයි ඔහු පවසන්නේ.

අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදිය යුතු බවද ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉදිරිපත් කළ අනෙක් කොන්දේසිය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට ”විනාශකාරී” තත්වයක් නිර්මාණය කර ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

මේ අතර මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.