ඉරානයේ විරෝධතා උත්සන්න වී තිබෙනවා. ඒ අනුව ටෙහෙරාන් අගනුවර සහ සෙසු නගරවල ද විරෝධතාකරුවන් විශාල පිරිසක් පෙළපාළි ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ආරක්ෂක හමුදා විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරියද ඊයේ පස්වරුව වනවිට ටෙහෙරානයේ සහ මෂාඩ් යන නගරවල සාමකාමී විරෝධතා යළි ආරම්භ වීම කැපී පෙනෙන තත්ත්වයක්.
විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙසයි.
විරෝධතාකරුවන්ට වීදි බැසීමට බල කළ දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත් රේසා පහ්ලවි හට යළි ඉරානයට පැමිණීමට ඉඩදීම ද ඔවුන්ගේ තවත් ඉල්ලීමක්.
විරෝධතා මෙලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ 12 වන දිනයටයි. එය ඉරානයේ පළාත් 31 පුරාම, නගර 100කට වැඩි ගණනකට ව්‍යාප්ත වී ඇති බවයි මානව හිමිකම් කණ්ඩායම් උපුටා දක්වන විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ මේ දක්වා විරෝධතාකරුවන් 34 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
තවත් විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන්ගේ වාර්තාවල සඳහන්.