වෙනිසියුලාවට අත තැබූ අමෙරිකාව දැන් ග්‍රීන්ලන්තයටත් අත තැබීමට සූදානම්.

විදෙස් මාධ්‍ය අද උදෑසන වන විට වාර්තා කළේ ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කරන බවයි.

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා ඇති විකල්ප පරාසයක් පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා කරමින් සිටින බවද එහි දැක්වුණා.

එහි වඩාත් වැදගත්ම කොටස වන්නේ එම විකල්ප පරාසය තුළ හමුදා භාවිතයක් ද ඇතුළත් බවට ධවල මන්දිරය ප්‍රකාශ කර තිබීමයි.

නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පැවසුවේ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම "ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක්” බවයි.

ග්‍රීන්ලන්තය යනු නේටෝ සාමාජික රටක් වන ඩෙන්මාර්කයේ අර්ධ ස්වයං පාලන කලාපයක්.

එහෙත් ආරක්ෂක හේතූන් මත අමෙරිකාවට ග්‍රීන්ලන්තය අවශ්‍ය බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සති අන්තයේ පැවසුවා.

ඒ අනුව යුරෝපීය නායකයින් ඩෙන්මාර්කය වෙනුවෙන් පෙළ ගැසී පැය කිහිපයකට පසුවයි ධවල මන්දිරය මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය නිකුත් කළේ.

ග්‍රීන්ලන්තය, එහි ජනතාවට අයත් වන අතර, ඔවුන්ගේ සබඳතා පිළිබඳ කරුණු තීරණය කළ හැක්කේ ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය පමණක් බවයි එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය යන රටවල නායකයින් මේ වන විට පවසා ඇත්තේ.

වෙනිසියුලාවේ අමෙරිකානු හමුදා මැදිහත්වීමෙන් පසුව ග්‍රීන්ලන්තයේ අනාගතය පිළිබඳ ගැටළුව නැවත මතු වුණා.

මේ අතරතුර ට්‍රම්ප් පරිපාලනය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කිරීමට සැලසුම් නොකළ බවත්, ඩෙන්මාර්කයෙන් දූපත මිලදී ගැනීමට අවශ්‍ය බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇති බවටයි දැන් වාර්තා වන්නේ.

නව වෙළඳ මාර්ග සඳහා ඇති හැකියාව සහ දුර්ලභ පස් නිධි ඇති බැවින් ග්‍රීන්ලන්තය කෙරෙහි රුසියාව සහ චීනයද ඉහළ උනන්දුවකින් පසුවනවා.

57,000 ක ජනගහනයක් සිටින ග්‍රීන්ලන්තය, 1979 සිට පුළුල් ස්වයං පාලනයක් පවත්වාගෙන ගියද, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති ඩෙන්මාර්කය සතුව පවතිනවා.

මේ අතර, වෙනිසියුලාව විසින් බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකාව ලබා දීමට සූදානම් බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණේ බොරතෙල් අලෙවියෙන් ලැබෙන මුදල අමෙරිකාව විසින් පාලනය කරනු ලබන බවයි.

එය වෙනිසියුලාවේ සහ අමෙරිකාවේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමට භාවිතා කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

වෙනිසියුලාවේ හිටපු උප ජනාධිපති ඩෙල්සි රොඩි්‍රගස් එරට අන්තර්කාලීන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් දිනකට පසු අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කිරීම කැපී පෙනෙන සිද්ධියක්.