වසර 54කට පසුව මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, සඳ වටා ගිය 'ආටෙමිස් 2' මෙහෙයුම මීට නොබෝ වේලාවකට පෙර සාර්ථකව නිම වුණා. ගගනගාමීන් හතර දෙනා රැගත් 'ඔරායන්' (Orion) යානය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 5:37 ට පැසිෆික් සාගරයට ආරක්ෂිතව පතිත වූ බව නාසා ආයතනය තහවුරු කරනවා.
​මෙම දින 10ක ඓතිහාසික චාරිකාවේදී ගගනගාමීන් සිදු කළ සුවිශේෂී කාර්යයන් කිහිපයක් පිළිබඳව දැන් අපි විමසා බලමු.
​මෙම ගමනේදී රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් පිරිස යානයේ ජීව ආධාරක පද්ධති ප්‍රථම වරට ගැඹුරු අභ්‍යවකාශයේදී අත්හදා බැලුවා. එමෙන්ම ඔවුන් යානයේ පාලනය තමන් වෙත ලබාගෙන අනාගතයේදී සඳ මත ගොඩබසින යානා සමඟ සම්බන්ධ වන ආකාරය පිළිබඳ විශේෂ පෙරහුරු ද සිදු කළා.
​විද්‍යාත්මක අතින් ද මෙම මෙහෙයුම ඉතා වැදගත් වනවා. අභ්‍යවකාශ විකිරණ සහ ගුරුත්වාකර්ෂණය රහිත තත්ත්වය මිනිස් සිරුරේ පටකවලට බලපාන ආකාරය පිළිබඳව ගගනගාමින් විශේෂ පර්යේෂණ සිදු කළා. මෙය අනාගතයේදී සඳ මත මිනිස් වාසස්ථාන ඉදි කිරීමටත්, ඉන් අනතුරුව අඟහරු ලෝකය කරා යාමටත් අවශ්‍ය අතිශය වැදගත් දත්ත ලබා ගැනීමට උපකාරී වනු ඇති.

​මීට අමතරව, පසුගිය අප්‍රේල් 6 වනදා සඳ අසලින් ගමන් කරන විට ගගනගාමීන් විසින් සඳුගේ මතුපිට ඡායාරූප 7,000කට වඩා ලබාගෙන තිබෙනවා. සඳුගේ අඳුරු කලාපයේ සිදුවන උල්කාපාත ගැටීම් මෙන්ම, සඳට හිරු ආවරණය වීමෙන් සිදුවූ සූර්යග්‍රහණයක් ද ඔවුන් සිය කැමරා කාචයේ සටහන් කර ගත්තා.
​සාර්ථකව පෘථිවියට පැමිණි මෙම කණ්ඩායම දැන් ලබන වසරේදී ක්‍රියාත්මක වීමට නියමිත 'ආටෙමිස් 3' (Artemis III) මෙහෙයුමට මග පාදා තිබෙනවා.

ආටෙමිස් 3 මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත සැබවින්ම පා තැබීමට නියමිතයි.
​නාසා ආයතනය පවසන්නේ මෙය අභ්‍යවකාශ ගවේෂණයේ 'ස්වර්ණමය යුගයක' ආරම්භය බවයි.