ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය එරට මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.

මැතිවරණ ප්‍රතිඵල අනුව සනයි තකයිචිගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 352ක් හිමිව තිබෙනවා.

ඒ අතරින් ආසන 316 ක්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂය දිනාගෙන ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.

හිටපු අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සනයි තකයිචි ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වුණේ පසුගිය ඔක්තෝබර් මාසයේදීයි.

එරට පළමු කාන්තා අගමැතිනිය ලෙසද ඇය ඉතිහාසගත වුණා.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වී මාස තුනක් ගතවූ පසු තකයිචි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් කැදවනු ලැබුවා.

මේ අතර පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ජපාන මහ මැතිවරණය ජයගැනීමත් සමග එරට කොටස් වෙළදපොලද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.