ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලු හේතුකොටගෙන, චීනයේ නිෂ්පාදිත 'DeepSeek' කෘතිම බුද්ධි (AI) මෘදුකාංග මෙන්ම එම ආකෘතිය භාවිතයෙන් නිර්මාණය කරන ලද තෙවැනි පාර්ශ්වීය සේවාවන් ද සියලුම තොරතුරු පද්ධතිවලින් වහාම ඉවත් කරන ලෙස අමෙරිකානු රජය විසින් එරට ෆෙඩරල් සිවිල් ආයතන වෙත නියෝග කර ඇත.
සඳුදා දින ප්රසිද්ධියට පත් කරන ලද නිවේදනයක් මගින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ, DeepSeek සමාගමේ නිෂ්පාදන, සේවාවන් හෝ ඊට අනුබද්ධිත ආයතන මගින් සංවර්ධනය කරන ලද කිසිදු තාක්ෂණික මෙවලමක් අලුතින් ලබාගැනීම ද රාජ්ය ආයතන වෙත සම්පූර්ණයෙන්ම තහනම් කළ බවයි.
අමෙරිකානු රජයේ නිලධාරීන් හෝ අදාළ සැපයුම්කරුවන් මෙම මෘදුකාංග භාවිත කිරීම හරහා අතිශය සංවේදී රාජ්ය තොරතුරු චීනය වෙත හුවමාරු වීමේ අවදානමක් පවතින බව අදාළ නිවේදනයේ දැක්වේ.
තවද, මෙම AI ආකෘති තුළ හානිකර මෘදුකාංග හෝ වෙනත් තොරතුරු තාක්ෂණික ආරක්ෂක දුර්වලතා අන්තර්ගතව තිබීමේ හැකියාවක් පවතින බව ද අමෙරිකානු බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.




