යුද්ධය අවසන් කිරීම සදහා සාකච්ඡා ගැන කතා කරමින් අමෙරිකාව රහසිගතව ගොඩබිම් ආක්‍රමණයක් සැලසුම් කරමින් සිටින බවට ඉරානය චෝදනා කරනවා.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගර් ගලීබාෆ් ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා අමෙරිකානු හමුදා එනතුරු බලා සිටින බවයි.

යුද්ධය හරහා සාක්‍ෂාත් කර ගැනීමට අසමත් වූ දේ සාකච්ඡා හරහා සාක්‍ෂාත් කර ගැනීමට අමෙරිකාව බලාපොරොත්තු වන බවද එරට පාර්ලිමේන්තුවේ කතානායකවරයා පවසා තිබෙනවා.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඊජිප්තුව, තුර්කිය, සෞදි අරාබිය සහ පකිස්තානයේ විදේශ අමාත්‍යවරුන් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට රැස්වී ඊයේ සහ අද දින සාකච්ඡා පවත්වන පසුබිමක් තුළයි.

අමෙරිකාව සහ ඉරානය යන දෙපාර්ශයම සමග පතින සුහඳ සබඳතා හේතුවෙන් යුද ගැටුම් සමනය කර ගැනීම සදහා ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස පකිස්තානය පෙරමුණ ගෙන තිබෙනවා.

එහිදී අමෙරිකාව විසින් යෝජනා කර ඇති කරුණු 15 කින් යුත් සාම සැලැස්ම ඉරානය වෙත ඉදිරිපත් කිරීමට පකිස්තානය කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

මේ අතර 3,500 දෙනෙකු රැගත් යූ එස් එස් ටි්‍රපෝලි නෞකාව මැදපෙරදිගට පැමිණ ඇති බව අමෙරිකානු මධ්‍යම අණදෙන විධානය අනාවරණ කර තිබෙනවා.

ඉරාන යුද්ධය ආරම්භ වී අදට දින 31 ක් ගත වී ඇති අතර ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අද වනවිට අමෙරිකානු ඩොලර් 115යි දශම 8 යි 4 ක් ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තාවල සදහන්.