ලෝකයම ඉමහත් අර්බුදයකට ඇද දමමින් මාස එකහමාරක් පමණ තිස්සේ පැවති යුද ගැටුම් තාවකාලිකව නතර කරමින්, සති දෙකක සටන් විරාමයකට අමෙරිකාව සහ ඉරානය එකඟතාව පළ කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම තීරණයත් සමඟ ඉදිරි සති දෙකක කාලය තුළ දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
සටන් විරාමය සඳහා මැදිහත්කරු ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් කටයුතු කළා.
ඒ එක් පසෙකින් අමෙරිකාව සාම යෝජනාවක් ඉදිරිපත් කර තිබියදී සහ ඉරානය එය ප්‍රතික්ෂේප කර තිබිය දීයි.
අනෙක් පසෙන් ඉරානය
කරුණු 10 කින් යුත් ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කර තිබුණ.
පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම සිදුකෙරුණේ ඉරානය ඉදිරිපත් කළ මෙම කරුණු දහයකින් යුත් සාම යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් කාලය ලබා දෙන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉල්ලීමක් කරමින්.
BBC ප්රවෘත්ති සේවය සහ අල්ජසීරා ප්රවෘත්ති සේවය වාර්තා කරන පරිදි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කළ එම ඉල්ලීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.
ඒ අනුවයි දෙපාර්ශ්වය අතර සටන් විරාමයට පදනම වැටී ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම සටන් විරාමය කොන්දේසි සහිත එකක් බව ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
ඔහුගේ ප්‍රධානතම කොන්දේසිය වන්නේ ලෝක තෙල් වෙළඳාමට අතිශය වැදගත් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ වහාම සහ සම්පූර්ණයෙන් විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බවයි.
තමන් ප්‍රහාර අත්හිටුවන්නේ එම කොන්දේසිය මත බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනවා.
ඒ සමග සිය සමාජ මාධ්‍ය ගිණුම් වල සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මේ වන විටත් ඇමරිකාව සිය යුදමය ඉලක්ක බොහොමයක් සපුරාගෙන ඇති බවයි.
සටන් විරාමයට එකඟ වන්නේ ඒ අනුව බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල තැබූ සටහන්වලින් ප්‍රකාශ කර තිබෙනවා.
එසේ තිබියදී, ඉරානය මෙම සටන් විරාමය හඳුන්වන්නේ ඉරානය ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙසයි.
ඇමරිකානු ජනාධිපතිවරයා සිය දැඩි ස්ථාවරයෙන් පසුබැස ඉරානයේ කොන්දේසි පිළිගෙන ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කලා.
මේ පිළිබඳ අදහස් දක්වන ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලය පවසන්නේ, ලබන සිකුරාදා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී වැඩිදුර සාකච්ඡා ආරම්භ කරන බවයි.
නමුත් තම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඕනෑම මොහොතක යළි සටන් ආරම්භ කිරීමට තම හමුදාවන් සීරුවෙන් සිටින බවට ඉරානය අනතුරු ඇඟවීමක්ද කරනවා.




