අමෙරිකාවේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරානය පවසනවා.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බාකර් කලීබාෆ් ප්‍රකාශ කර ඇත්තේ නොසන්සුන්තාවයෙන් පෙළෙන සිය රටට මැදිහත්වීමට එක්සත් ජනපදය ක්‍රියාකළහොත් කලාපය පුරා ඇති අමෙරිකානු කඳවුරු නැව් සහ කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා ඇත්තේ මෙලෙසයි.

“එන්න, ඉරාන ජාතිය ගින්නෙන් දවන්න. එය පීඩාකාරී එක්සත් ජනපද පාලකයින්ට ඉතිහාසයේ කල් පවත්නා පාඩමක් බවට පත්වේවි. ඔබට සහ කලාපයට කුමක් සිදුවේදැයි සොයා බලන්න” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරාන රජයට එරෙහිව එරට තුළ මතුව ඇති විරෝධතා මර්දනය කරමින් විරෝධතාකරුවන් ඝාතනය කරන්නේ නම් ඊට එරෙහිව මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙසයි.

මේ අතර, මෙවැනි වාතාවරණයක් හමුවේ ඉරානය සමග ඉරානය සමග වෙළඳ සබඳතා පවත්වන රටවල් සඳහා සියයට 25ක තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරාන ඉස්ලාමීය ජනරජය සමග ව්‍යාපාර කළ ඕනෑම රටකට අමෙරිකාව සමග සිදු කරන ඕනෑම ව්‍යාපාරික ගණුදෙනුවකදී සියයට 25ක තීරු බද්දක් ගෙවීමට සිදු වනු ඇති බවයි. මෙම නියෝගය අවසාන සහ තීරණාත්මක බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය ඉරානයේ ක්‍රියාත්මක රාජ්‍ය විරෝධී විරෝධතා මර්දනය සඳහා ඉරාන රජය ගන්නා ක්‍රියාමාර්ගවලට පීඩනයක් එල්ල කළ හැකි පියවරක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉරාන රජයට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා මේ වන විට ක්‍රියාත්මක වන්නේ තුන්වන සතියටයි.

එම විරෝධතාවලට එක්වූ 500කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවටයි එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරි ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ.

තවත් විරෝධතාකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා. කෙසේවෙතත් අවහිර කර තිබීම හේතුවෙන් තොරතුරු සත්‍යාපනය කිරීම දුෂ්කර වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉහළ යන උද්ධමනය ඉරානයේ මුදල් ඒකකය වන රියාල්වල වටිනාකම පහත වැටීම ආදී හේතු මුල් කර ගනිමින් ඉරාන රජයට එරෙහි එම විරෝධතා ආරම්භ වී තිබෙනවා.