ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීමේ වෙළඳ ප්රතිපත්තිය හමුවේ ඇමෙරිකාව මත තබා ඇති පදනම අවම කරගැනීමේ අරමුණින්, ඉන්දියාව සමග වෙළඳ ගිවිසුමකට එළඹීමට සහ යුරෝපා සංගමය සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට කැනඩාව දැඩි උත්සාහයක නිරත වන බව එරට විදේශ අමාත්ය අනීතා ආනන්ද් ප්රකාශ කළාය.
වොෂිංටනය සමග වෙළඳ, ආරක්ෂක සහ හමුදාමය සහයෝගීතාව පවත්වාගෙන යන අතරතුරම යුරෝපා සංගමය, චීනය සහ සසු රටවල් සමග පවතින සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ ක්ෂේත්රය විවිධාංගීකරණය කිරීම අගමැති මාක් කාර්නිගේ සැලැස්මේ ප්රධාන අරමුණයි.
නවදිල්ලියේ පිහිටි කැනඩා මහා කොමසාරිස් කාර්යාලයේදී රොයිටර් පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්යවරිය සඳහන් කළේ, ඉන්දියාව සමග ඇති කරගැනීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (CEPA) අපගේ වෙළඳ විවිධාංගීකරණ උපායමාර්ගයේ එක් කොටසක් බවයි.
එම ගිවිසුම මෙම වසර අවසාන වීමට පෙර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවාය.
"ඉදිරි වසර 10 ඇතුළත ඇමෙරිකාව නොවන අනෙකුත් රටවල් සමග කෙරෙන වෙළඳාම දෙගුණ කරගැනීම කැනඩාවේ ඉලක්කයයි," යනුවෙන් ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
පුළුල් ආර්ථික හා වෙළඳ ගිවිසුම (CETA) යටතේ පවතින වෙළඳ සබඳතා තවදුරටත් වර්ධනය කරමින්, ක්ෂේත්ර කිහිපයක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට කැනඩාව සහ යුරෝපා සංගමය සූදානම් වේ.
ඒ අනුව මෙම මස අගදී පැවැත්වෙන රාජ්ය නායක සමුළුවේදී ප්රධාන ඛනිජ ද්රව්ය, බලශක්තිය සහ කෘතිම බුද්ධිය (AI) යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්ය ආනන්ද් පැවසුවාය.
එමෙන්ම කැනඩාව සිය වෙළඳ පාර්ශ්වකාරීත්වයන් තවදුරටත් පුළුල් කරමින් සිටින අතර, පසුගිය වසරේදී ඉන්දුනීසියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබූ අතර 2026 වසරේදී ගිනිකොනදිග ආසියාතික රටවල සංගමය (ASEAN) සමග ද ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරයි. මේ වන විට කැනඩාව රටවල් 51 ක් සහ පාරිභෝගිකයින් බිලියන 1.5 ක් ආවරණය වන පරිදි වෙළඳ ගිවිසුම් 15 කට එළඹ ඇති බව ද ඇය සඳහන් කළාය.



