ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් වොෂින්ටන් නුවර සංවිධානය කර තිබූ ප්‍රධාන උත්සවවලට අයහපත් කාලගුණයෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා.
එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් තරම් ඉහළ ගොස් ඇති බවයි බීබීසී ප්‍රවෘත්ති සේවය පවසන්නේ.
දරුණු ගිගුරුම් සහිත වැසි ද අද හැලී තිබෙනවා.
ඒ හේතුවෙන් උත්සව නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිස් වහාම ඉවත් කිරීමට ද පියවර ගැනුණු බවයි බීබීසි ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
වොෂින්ටන් නුවර පැවැත්වෙන ප්‍රධාන සැමරුම් සැණකෙළියට සහ ප්‍රසංග නැරඹීමට පැමිණි ජනතාවට, වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස පොලිසිය අනතුරු ඇඟවීම් නිකුත් කළා.
රැස්ව සිටි පිරිස් ඉවත් කෙරුණේ අසල පිහිටි ජාතික කෞතුකාගාර සහ තෝමස් ජෙෆර්සන් ස්මාරකය වැනි ආරක්ෂිත ගොඩනැගිලි වෙතයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සැමරුම් රැළියක් ඇමතීමට නියමිතව තිබුනා.
එහෙත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම කතාව ද ප්‍රමාද විය හැකි බවයි බීබීසී ප්‍රවෘත්ති සේවය පවසන්නේ.
කෙසේ වෙතත්, ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවලින් මෙන්ම ලෝකයේ විවිධ රටවලින් ද විශාල පිරිසක් මෙම ඓතිහාසික 250 වන නිදහස් දින සැමරුම නැරඹීම සඳහා වොෂින්ටන් නුවරට පැමිණ සිටිනවා.
කාලගුණික බාධා මධ්‍යයේ වුවද රට පුරා ප්‍රසංග, ගිනිකෙළි සංදර්ශන සහ ගුවන් හමුදා සංදර්ශන රැසක් ද සංවිධානය කර තිබෙනවා.




