පකිස්ථාන - ඇෆ්ගනිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් මේවනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මේ අතරතුර රටවල් රැසක්ම දැනටමත් ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරයද පල කර අවසන්.

පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් හා තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන් අතර මෙම ගැටුම පිළිබඳ සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.

පකිස්ථාන හමුදා විසින් ''අනවශ්‍ය ඇෆ්ගන් ආක්‍රමණයට'' ප්‍රතිචාර දැක්වූ බවටයි පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මෙහිදී පවසා ඇත්තේ.

එමෙන්ම පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් සමඟ ද ගැටුම පිළිබඳ සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර සාකච්ඡා සදහා පහසුකම් සැලසීමට මැදිහත් විය හැකි බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි X පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් ද මෙම තත්වය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ජාත්‍යන්තර මානුෂීය නීතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ජාත්‍යන්තර නීතිය යටතේ ඔවුන්ගේ බැඳීම් දැඩි ලෙස පිළිපැදිය යුතු බවයි ගුටරෙස් දෙරටෙන්ම ඉල්ලා ඇත්තේ.