ඉන්දියාවේ බිහාර්හි මුසාෆර්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක දරුණු ගින්නක් ඇතිවී තිබෙනවා.
ගොඩනැගිල්ලක පස්වන මහලේ ස්ථාපිත කර ඇති දැඩි සත්කාර ඒකකයකයි මෙම ගින්න ඇති වී තිබෙන්නේ.
ගින්නට හසුවීමෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු අවම වශයෙන් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
NDTV සහ First Post වාර්තා කරන පරිදි අද අලුයම 3.00 ට පමණයි ගින්න ආරම්භ වී තිබෙන්නේ.
ඒ වනවිට බොහෝ රෝගීන් සහ රෝහල් සේවකයන් නින්දේ සිට තිබෙනවා.
ගින්නත් සමඟ රෝහල පුරා විශාල දුමාරයක් පැතිර ගොස් ඇති අතර, ඒ මධ්‍යයේ දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර සූත්‍රවලට සම්බන්ධ කර සිටි අසාධ්‍ය රෝගීන් බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ ඥාතීන් දැඩි උත්සාහයක නිරත වූ බවයි NDTV සහ First Post වැඩිදුරටත් සදහන් වන්නේ.
ගිනි නිවන කණ්ඩායම් පවසන්නේ දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගීන් 20 දෙනෙකු පමණ බේරාගත් බවයි.
කෙසේවෙතත් එලෙස බේරාගත් රෝගීන්ගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පිරිස අසල වෙනත් රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා.
එසේ තිබියදී මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් සැක කරන්නේ.
ඇති වූ ගින්න පිළිබද විමර්ශන දැන් ආරම්භ වී තිබෙනවා. මූලික විමර්ශනවලට අනුව විදුලි කාන්දුවක් නිසා ගින්න ඇතිවී තිබෙන බවටයි සැක කෙරෙන්නේ.
මේ අතර බිහාර්හි මුසාෆර්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක මෙම ගිනි අනතුර සිදුවන්නේ 21 දෙනෙකුට ජීවිත අහිමි කරමින් නවදිල්ලි නුවර ලැගුම්හලක ඇතිවූ දරුණු ගින්නෙන් පැය කිහිපයකට පසුවයි.
වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශයන්ගෙන් පැමිණි පිරිස් වැඩි වශයෙන් රැදී සිටි ලැගුම්හලක ඊයේ එම ගින්න ඇති වුණා.
ඒ පිළිබදවද විමර්ශන දැන් සිදුකෙරෙන අතර විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පවසන්නේ ගිනිගත් ගොඩනැගිල්ලට ඇතුළුවීමට සහ පිටවීමට තිබී ඇත්තේ එකම දොරක් පමණක් බවයි.
එහි ජනෙල් බොහෝමයක් ස්ථිරවම වසා දමා තිබුණු බවද විමර්ශකයන් පවසනවා.
ප්‍රධාන දොර ස්වයංක්‍රීය සෙන්සර් දොරක් බවයි අනාවරණ වී ඇත්තේ.
මේ හේතු නිසා ගින්න ඇති වූ අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි පිරිස්වලට පිටතට යාමට නොහැකි වී ඇති බවයි විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.




