අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ඇති වූ එකඟතාව හේතුවෙන් යුද ගැටුම් නතර වුවද බලශක්ති මිල සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

බලශක්ති වෙළදපොල ස්ථාවරවීමට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පුරෝකථනය කළ හැකි සහ ස්ථාවර ප්‍රවාහනයක් පැවතිය යුතු බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

එබැවින් තෙල් සහ ගෑස් මිල යුද්ධයට පෙර පැවති මට්ටමට පැමිණීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඇති වූ තත්ත්වය ගෝලීය ඉන්ධන වෙළදපොල ඉතිහාසයේ විශාලතම බාධාව වන බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.

යුද ගැටුම් ආරම්භවීමට පෙර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ආසන්න වශයෙන් නෞකා 120ත් 140ත් අතර ප්‍රමාණයක් ගමන් කර තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය බදාදා දිනයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ නෞකා 5ක් පමණක් වන අතර ඊයේ දිනයේදී නෞකා 7ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.