හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරගත කිරීමට එරෙහිව පැවැත්වෙන විරෝධතා පාගමන, බලධාරීන් සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව එරට වයඹදිග කලාපයෙන් ආරම්භ විය.

ඉම්රාන් ඛාන්ගේ ‘පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂයේ ආධාරකරුවන් විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා පාගමන සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, පසුව එය ඉරිදා දක්වා කල් තබන ලදී.

විරෝධතාකරුවන් ඉස්ලාමාබාද් අගනුවරට පැමිණීමේ ඉඩකඩ සලකා බලධාරීන් සති කිහිපයක සිට ආරක්ෂක පියවරයන් ශක්තිමත් කර තිබේ.

PTI පක්ෂය මගින් පාලනය වන කයිබර් පක්තුන්ක්වා පළාතේ ලක්කි මාවට් හි දහස් සංඛ්‍යාත ජනතාවක් වීථි බැස සිටින අයුරු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරුවන් බොහෝ දෙනෙකු විපක්ෂයේ රතු සහ කොළ පැහැති කොඩි අතැතිව සිටි අතර, "ඉම්රාන් ඛාන් නිදහස් කරනු" යනුවෙන් සටහන් කළ විශාල පුවරුවක් සවිකළ රථයක් ද විරෝධතාවයට එක්ව තිබුණි.

මීට පෙර PTI පක්ෂයේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරන ලද වීඩියෝ දර්ශනවල දැක්වුණේ, කයිබර් පක්තුන්ක්වා හි විවිධ ප්‍රදේශවලින් එකතු වූ ආධාරකරුවන් මෙම "දීර්ඝ පාගමන" සඳහා පෙළගැසෙමින් සිටින ආකාරයයි. කයිබර් පක්තුන්ක්වා හි මහ ඇමති සොහේල් අෆ්රිඩි දX පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉම්රාන් ඛාන්ට සහය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතාව සැලසුම් කළ පරිදිම ඉදිරියට යන බවයි.

73 හැවිරිදි වියෙහි පසුවන ඉම්රාන් ඛාන්ට ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ වෛද්‍යවරුන්ට ඔහුව හමුවීමට ඇති ඉඩකඩ සීමා කිරීම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ ජනතා අප්‍රසාදය දැඩි ලෙස ඉහළ ගියේය. පසුගිය මාසයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනා ද වහා නිදහස් කරන ලෙස PTI පක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටී.