පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ 'පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්' (PTI) පක්ෂය චෝදනා කරයි.
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා හඬ නැගූ අලීමා ඛාන්, වෛද්ය උස්මා ඛාන් සහ නෝරීන් ඛාන් මෙසේ අත්අඩංගුවට ගෙන ලාහෝර් හි පිහිටි කෝට් ලක්පට් බන්ධනාගාරය වෙත යොමු කර ඇති බව එම පක්ෂය සඳහන් කළේය.
73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් සහ ඔවුන්ගේ දරුවන් මෙසේ පොලිස් භාරයට ගෙන ඇති අතර, පසුව දරුවන් නිදහස් කළ බව PTI පක්ෂයේ තොරතුරු ලේකම් ෂෙයික් වකාස් අක්රම් AFP පුවත් සේවයට තහවුරු කළේය.
ඔහුගේ සොහොයුරියන් තිදෙනාම ලාහෝර් හි කෝට් ලක්පට් බන්ධනාගාරයට යවා තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
පන්ජාබ් ප්රාන්තයේ අගනුවර වන ලාහෝර් හිදී නීතිය බලගන්වන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. අලීමා ඛාන් ඉකුත් ඉරිදා දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වෛද්ය උස්මා ඛාන් සහ නෝරීන් ඛාන් සඳුදා දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පන්ජාබ් ප්රාන්තයේ මහජන සාමය පවත්වාගෙන යාමේ පනත යටතේ, ලාහෝර් හි නියෝජ්ය කොමසාරිස් මුහම්මද් අලි ඉජාස් විසින් නිකුත් කරන ලද නියෝග දෙකකට අනුව මෙම සොහොයුරියන් තිදෙනා දින 30 ක කාලයක් සඳහා මෙසේ රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.



