ඊජිප්තුවේ ගීසා නගරයට ආසන්න ප්‍රදේශයක සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ගීසා සහ කයිරෝ නුවර සිට දකුණු දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක් මෙලෙස එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඊජිප්තු දුම්රිය බලධාරීන් ප්‍රකාශ කළේ.

කයිරෝ සිට අස්වාන් දක්වා ධාවනය වූ දුම්රියක් ධාවන පථයේ නවත්වා තිබියදී, ගීසා සිට ෆයූම් දක්වා ධාවනය වූ අනෙක් දුම්රිය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදි දුම්රිය මැදිරි කිහිපයක් පීලි පැන ඇල මාර්ගයකට පෙරළී ඇති අතර, එක් දුම්රිය මැදිරියක් දෙකඩ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පිරිස අතර එක් දුම්රියක රියදුරෙකු ද වනවා.

අනතුර සිදුවූ ස්ථානයේ දැවැන්ත සහන මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රදේශයේ රෝහල් සූදානම් කර ඇති බවයි ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත්, සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට මහජන පැමිණිලිකාර කාර්යාලය අනතුරු අඟවන්නේ.

අනතුර සිදුවූ අල්-අයියාත් ප්‍රදේශය යනු මීට පෙර ද 2002 වසරේදී 370 කට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ ඊජිප්තු ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර සිදුවූ ස්ථානයයි.

එමෙන්ම 2009 වසරේදී ද මෙම ප්‍රදේශයේදීම සිදුවූ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අවාසනාවන්ත සිදුවීමත් සමග එරට ප්‍රවාහන අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා ද මතුවෙමින් පවතින අතර, සෞදි අරාබිය සහ තුර්කිය ඇතුළු විදේශීය රාජ්‍යයන් රැසක් ඊජිප්තුව වෙත සිය ශෝකය පලකර තිබෙනවා