ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ හට ගත් බෝම්බ බියට හේතුව චීන පාලනය විසින් තහනම් කර ඇති චීන නර්තන සහ සංගීත කණ්ඩායමකට එල්ල වූ ලිඛිත තර්ජන බව වාර්තා වේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ඊමේල් පණිවිඩවලට අනුව, ෂෙන් යුන් (Shen Yun) නර්තන කණ්ඩායමේ ශිල්පීන්ට ඔවුන්ගේ ඉදිරි ඕස්ට්‍රේලියානු දර්ශන අවලංගු කරන ලෙස දන්වා ඇති අතර, එසේ නොකළහොත් එරට අගනුවර පිහිටි ඇන්තනී ඇල්බනීස්ගේ නිල නිවසේ පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හරින බවට තර්ජනය කර තිබේ.

මෙම ඊමේල් සම්බන්ධයෙන් අදහස් දැක්වීම බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් තහවුරු කළේ පසුගිය අඟහරුවාදා නායකයාගේ නිවසේ සිදුවූ "ආරක්ෂක සිද්ධියක්" සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවත් එහිදී කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවූ බවත් පමණි.

ෂෙන් යුන් කණ්ඩායම පිහිටුවා ඇත්තේ චීනයේ තහනම් කර ඇති ෆාලුන් ගොං (Falun Gong) නැමැති ආගමික ව්‍යාපාරය විසිනි.

පොලිසිය පැවසූ පරිදි, ඉකුත් අඟහරුවාදා පස්වරු 06 ට පමණ අග්‍රාමාත්‍යවරයා ඔහුගේ නිවසින් ඉවත් කර පැය කිහිපයක් සඳහා වෙනත් ස්ථානයකට රැගෙන යන ලදී.

චීන භාෂාවෙන් ලියා තිබූ එක් ඊමේල් පණිවිඩයක සඳහන් වූයේ, කැන්බරා හි පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන 'ද ලොජ්' (The Lodge) අවට විශාල වශයෙන් නයිට්‍රොග්ලිසරින් (nitro-glycerine) පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවයි.

ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවට (ABC) අනුව, මෙම තර්ජනය පිළිබඳව පසුගිය අඟහරුවාදා පොලිසියට වාර්තා කර ඇත්තේ ෂෙන් යුන් (Shen Yun) කණ්ඩායම විසිනි.