ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 400 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී තවත් පුද්ගලයන් 250දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරය පකිස්ථානය විසින් එල්ල කර ඇති බවටයි ඇෆ්ගනිස්ථානය චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් තමන්ට එල්ල වන එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව පාකිස්ථානය පවසනවා.

මේ අතර සිය චීන සංචාරය මසකින් ප්‍රමාද කිරීමට සැලසුම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉරානයට එරෙහි යුද්ධය අධීක්‍ෂණය කිරීම සදහා තමන් අමෙරිකාවේ රැදී සිටීම වැදගත් බවයි ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මාර්තු 31 සිට අප්‍රේල් 2 වනදා දක්වා චීනයේ සංචාරය කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරටේ ජනාධිපතිවරුන් අවසන් වරට හමුවී සාකච්ඡා පවත්වා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ඉරාකයේ බෑග්ඩෑඩ්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වි තිබෙනවා. ප්‍රහාර ආරම්භ වූ දා සිට සිදු වූ දරුණුම ප්‍රහාරය මෙය බවයි ඉරාක ආරක්‍ෂක අංශ පවසන්නේ.

ඉරාකයේ වෙසෙන එක්සත් ජනපද පුරවැසියන්ට තානාපති කාර්යාලය විසින් පැය හයකට පමණ පෙර නව ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් තාවකාලිකව වසා දැමූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් කලාපය යළි විවෘත කර තිබෙනවා.

ඉරානයෙන් එල්ලවන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමටයි එරට බලධාරීන් මීට පෙර කටයුතු කළේ.

මේ අතර ආසියානු වෙළෙඳපොළේ අද පෙරවරුවේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සියයට 2.8කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 103.08ක් ලෙස වාර්තා වුණා.

එමෙන්ම අමෙරිකානු බොරතෙල් මිලද සියයට 3කින් පමණ ඉහළ ගොස් ඇති තිබෙනවා.

ඒ අනුව එම බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බලශක්ති අවශ්‍යතා සඳහා ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ වී තිබෙනවා.